* අපරාධකරුවන් අල්ලන්න නව තාක්‍ෂණික ක්‍රම
* පරිගණක හරහා සිදුකෙරෙන අපරාධ වැළැක්වීම අරමුණයි
ජනපතිගේ සහ ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් මත මෙහෙයුම් ඒකකය ඇරඹෙයි
පරිගණක අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා රහස් පොලිසිය මහා පරිමාණ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. රහස් පොලිසියේ ස්ථාපිත කරන ලද විශේෂ පරිගණක අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයක් සහ රසායනාගාරයක් ඔස්සේ එම මෙහෙයුම සිදු කෙරේ.මහා පරිමාණ මූල්‍ය වංචා, ක්‍රෙඩිට් කාඩ් වංචා, කප්පම් ලබාගැනීම ,චරිත ඝාතන, ව්‍යාජ තොරතුරු පළ කිරීම, බ්ලැක්මේල් කිරීම ඇතුළු පරිගණක සහ අන්තර් ජාලය හරහා සිදුකෙරෙන අපරාධ දිනෙන් දින වැඩිවෙමින් පවතී.
රහස් පොලිසිය මේ වන විට ඒ හා සම්බන්‍ධ පැමිණිලි සියයකට වැඩි ප්‍රමාණයක් පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි. කෝටි ගණනක මූල්‍ය වංචා, විශ්වවිද්‍යාලයක ලකුණු වෙනස් කිරීම්, චරිත ඝාතන, විදේශ මුදල් (NRFC) සොරකම් කිරීම් ඇතුළු පරිගණක අපරාධ ගණනාවක් එම පරීක්‍ෂණවලට අදාළ වෙයි. මෙම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් විශාල පිරිසක්ද කොටුකරගෙන ඇත. මෙම විශේෂ පරිගණක මෙහෙයුම් ඒකකයට පැමිණිල්ලක් ලැබුණ වහාම ඒ පිළිබඳ ක්‍ෂණිකව ක්‍රියාත්මක වී අපරාධකරුවන් කොටුකර ගැනීමට විශේෂ තාක්‍ෂණික ක්‍රම යොදා තිබේ.
තවද අපරාධකරුවන් ලක්‍ෂ පහකගේ ඇඟිලි සළකුණු මෙම විශේෂ පරිගණක මෙහෙයුම් පද්ධතියට ඇතුළත් කර තිබේ. අපරාධකරුවකු කොටුකරගෙන විනාඩි කිහිපයකින් ඔහු පිළිබඳ තොරතුරු හෙළිකරගැනීමට මෙම පද්ධතිය ඔස්සේ හැකිවෙයි. මෙවැනි අපරාධවලට ලක්වූ පුද්ගලයන්ට ඒ හා සම්බන්‍ධ පැමිණිලි වහාම රහස් පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා සිටී. එම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක සහ ඊමේල් ලිපින හඳුන්වා දී තිබේ. ඒ අනුව 011-2380380, 011-2422176 යන දුරකථන අංකවලටත් oic>cid com at Police.lk සහ dig, cid at police.lk යන ඊමේල් ලිපිනවලටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
යම් පරිගණක අපරාධයක් සිදුකර ඊට අදාළ පරිගණක විස්තර විනාශ කර තිබුණත් එම සියලු තොරතුරු සොයා ගැනීමට එම මෙහෙයුම යටතේ පහසුකම් සළසා ඇති බව රහස් පොලිසිය පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම විශේෂ පරිගණක මෙහෙයුම් ඒකකය සහ රසායනාගාරය පිහිටුවා ඇත. ජනාධිපතිවරයා 2005 වර්ෂයේදී මෙම මෙහෙයුම් ඒකකය පිළිබඳ යෝජනා කර තිබිණි. 2007 ජුලි මාසයේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් එම මෙහෙයුම් ඒකකය රහස් පොලිසිය තුළම ස්ථාපිත කළයුතු බවට තීරණය විය. ඒ අනුව මෙය ආරම්භ කර තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්‍ෂකවරයා යටතේ මෙම පරිගණක මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් දාහතර දෙනෙක් එහි මෙහෙයුම් කටයුතු සිදු කරති. රුපියල් කෝටි ගණනක වියදමින් ආරම්භ කරන ලද එම මෙහෙයුම් ඒකකයට මූල්‍ය ආධාර ලෝක බැංකුවෙන් ලැබී තිබේ. සෙසු තාක්‍ෂණික කටයුතු තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය (ICT) සහ කොළඹ විශ්ව විද්‍යාලය මගින් ලැබී තිබේ.
-විජයානි එදිරිසිංහ-



No comments:
Post a Comment